මිස් ජෙනිස් සමඟ අලුත් මුහුණුවරකින් කරළියට එන ජයලත් මනෝරත්නයන්.
- Boomerang
- Jul 15, 2018
- 1 min read
ජයලත් මනෝරත්න යනු ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් කළ සම්මානනීය නාට්‍යවේදියෙකි. නාට්‍ය රචකයෙකු, නිෂ්පාදකවරයෙකු, රංගනශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සුවිශේෂී දස්කම් දැක්වූ මොහු, විවිධ අත්හදා බැලීම් මඟින් නාට්‍ය කලාව නව මංපෙතක් විවර කළ නාට්‍යකරුවෙකු ලෙස හැදින්විය හැකිය.

“ජයලත් මනෝරත්න කාන්තාවක් බවට පත්වෙලා”. මේ දිනවල සමාජජාල කැළඹූ අලුත්ම පුවත එයයි. එම පුවතට පසුබිම් වු හේතුව වන්නේ මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන ඡායාරෑප පෙළක් නිසාය. එම ඡායාරෑප පෙළ දුටු පමණින් අප සිත් වසඟ කර ගන්නා අතර ඒ සිටින්නේ මනෝරත්නයන් කියා කීමද ඉතා අපහසුය. මේ පිටුපස සැගවී තිබෙන සත්‍ය කතාව නම් මෙයයි. “මිස් ජෙනිස්” නම් වු නවතම සිනමාකෘතියේ ඡායාරෑප පෙළක් තමයි ඒ. එය සුසිරන් ද සිල්වා මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන අතර, මෙහි මිස් ජෙනිස් ගේ චරිතයට පණ පොවන්නේ ජයලත් මනෝරත්න සූරීන්ය.

මෙම චිත්‍රපටයේ මනෝරත්නයන් ගැහැණු චරිතයක් රඟනොපාන අතර, චිත්‍රපටයේ මොහුගේ චරිතයේ නම “ලියොන්” ය. ඔහු රැකියාවක් නොමැතිව පීඩා විඳින පුද්ගලයෙකි. රැකියාවක් සොයාගැනීමේ මුලික අපේක්ෂාවෙන් සම්මුඛ පරික්ෂණයක් සඳහා ඔහු මෙලෙස වෙස්වලාගෙන යයි. ඔහු ධනවත් පවුලක දඩබ්බර ගැහැණු ළමයෙකුගේ පාලිකාවක් ලෙස යන අතර ඒ සඳහා මිස් ජෙනිස් ලෙස වෙස්මාරු කරගනී.

ගිරිරාජ් කෞශල්‍ය, රොෂාන් රණවන, දුලීකා මාරපන, ජයලාල් රෝහණ, උදාරි පෙරේරා, ගයත්‍රී ඩයස්, කුමාර තිරිමාදුර ඇතුලු නළු නිළියන් පිරිසක් මිස් ජෙනිස් සිනමාපටයේ සෙසු පිරිස ලෙස රංගනයෙන් දායකවෙයි. මෙම චිත්‍රපටය ළඟදීම ජනතාවට දැක බලා ගැනීමට පුළුවන් බව දැනගන්නට ලැබී ඇත.
නිෂාදි ගල්ගේවෙල
コメント