top of page

සෝප් ඔපෙරාව - Soap Opera

  • Writer: Boomerang
    Boomerang
  • Jul 16, 2018
  • 3 min read

පුද්ගල මනෝභාවයන්ට, ආකල්පවලට බලපෑම් කරන වෙළඳ දැන්වීම්, දේශපාලන ප්‍රචාරක කටයුතු ආදිය දෙවන තැනට පත් කරමින් සෝප් ඔපෙරාව පළමු තැන ගෙන සිටි. සෝප් ඔපෙරාවක් යනු කුමක්ද? ඔබ මා කවුරුත් දන්නා පරිදී ඔපෙරාව (opera) යනු, ගායකයන්ගෙන් හා නළුවන්ගෙන් සැදුම්ලත් නාට්‍යමය හා සංගීතමය ආකෘතියකින් යුතු කලා මාධ්‍යකි. ගුවන්විදුලියේ හෝ රූපවාහිනියේ දීර්ඝ කාලීනව කොටස් වශයෙන් දිනපතා ඉදිරිපත් කරන, නාට්‍යමය ප්‍රබන්ධ සෝප් ඔපෙරාවක් ලෙස සැලකේ. මෙය වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ විකාශය වන “මෙගා ටෙලිනාට්‍ය” යන මාතෘකාවට අභ්‍යන්තරාර්ථයෙන් කෙසේ වතුදු බාහිර අර්ථයෙන් යම තරමක් දුරට සමවන බව පැවසිය යුතුය.


සෝප් යන කෙටි නමින්ද හඳුන්වන මෙම කලා මාධ්‍යයෙහි සමාජ කරලියට ගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙතටයි. සබන් නිෂ්පාදකයන්ගේ අනුග්‍රහයෙන් මාධ්‍යයට පැමිණි නිසා මෙම කලා අංගය “සෝප් ඔපෙරා” ලෙස නාමනය වී ඇත.1928 වසරේදී දකුණු අප්‍රිකානු සමාජය පිලිබඳ ලියවුනු “Amos ‘n’ Andy” ලොව බිහිවූ ප්‍රථම සෝප් ඔපෙරාව ලෙස සැලකේ. ගුවන් විදුලියේ ප්‍රචාරය වූ මෙය කෙතරම් ජනප්‍රිය වූවාද කියතොත් 1928 සිට 1943 දක්වා රාත්‍රී ගුවන්විදුලි නාටකයක් ලෙස ප්‍රචාරය විය.


“Liver Brothers Proctor” සහ “Gamble” යන සබන් සමාගම් Soap Opera ව්‍යාපෘතියෙහි මූලිකත්වය දරූ සමාගම්ය. බ්‍රිතාන්‍ය සෝප් ඔපෙරා යාතාර්ථවත්ය. පවත්නා සමාජයේ සිදුවන සිදුවීම් කැටි කොට දැක්වීමක් මෙහිදී සිදුවේ. ඇමෙරිකානු සෝප් ඔපෙරා මීට වඩා තරමක් වෙනස් මගක් ගනී. භාවයන්ට මුල් තැන දෙමින් සමාජ සිද්ධීන් විද්‍යමාන කිරීමක් මෙහිදී දැකිය හැක. බෝහෝවිට කාන්තාවන් ඉලක්ක කරගැනීම සෝප් ඔපෙරාවල ස්වරූපයයි. එමෙන්ම ප්‍රේමවෘතාන්ත පිළිබඳවද ඇමෙරිකානු සෝප් ඔපෙ‍රා ලැදිකමක් දැක්වීය. ඇමෙරිකානු සෝප් ඔපෙරාවලට නිදර්ශන -


§ Love of Life (1950)

§ Search for Tomorrow (1966)


ඔස්ට්‍රෙලියාවේ සෝප් ඔපෙරාව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය සෝප් ඔපෙරාවලට වැඩ වෙනස් මගක ගෙන ඇත. යතාර්ථය හා භාවය යන ගුණාංග දෙකද සහිතව නගරාශ්‍රිත සමාජය කැටිකොටගත් සෝප් ඔපෙරා ඕස්ට්‍රේලියාව තුළ නිෂ්පාදිතය. 1976 වර්ෂයේදී පලවූ Times සඟරාවක ප්‍රකාශ වුණේ දිවා කාලයේ ඇමෙරිකාවේ විකාශය වන නාලිකාවන් “පොහොසත්ම වෙළඳපොල” (“TV’s richest market”) ලෙසයි. ගෘහනියන් මේ සඳහා ඇබ්බැහි වූ බවට හොඳ සාක්ෂියකි මේ. එම ලිපියෙහි පලවන අන්දමට එම කාල පරාසය තුළ දී විකාශය වූ අනිකුත් සියලුම වැඩසටහන්වල ආදායම පහළ ගොස් ඇත. දිවා කල විකාශය වූ ප්‍රථම සෝප් ඔපෙරාව වන “Days of Our Lives” හි රංගනය කළේ Bill Hayes සහ Susan Seaforth Hayes දෙපළයි.

බෝහෝවිට සෝප් ඔපෙරා ගොඩ නැගෙන්නේ සාමාජික සංඛ්‍යාව අධික පවුලක් වටා ය. එහි එන චරිත වලට සිදුවන සිදුවීම් හා ඔවුන්ට මුණ ගැසෙන පුද්ගලයන් නිසා සෝප් ඔපෙරාව දීර්ඝ වේ. කතාකරුවා මේ සියලු සිදුවීම් හා පුද්ගලයන් ප්‍රේක්ෂකයාට දැනෙන හැඟෙන ආකාරයට විදහා දැක්වීමට සැමවිට උත්සාහ කරයි. සමස්තයක් ලෙස ගත් කල සෝප් ඔපෙරා තුළ ගැටුම් සිද්ධීන් බහුලය. පවුල් ප්‍රශ්න, ආදර ගැටළු, මේ අතුරින් ප්‍රධාන වේ. එමෙන්ම කතාව පුරාම කුතුහලය දිව යයි. විශේෂත්වය වන්නේ ප්‍රධාන කතාවට අතරමැදදී අතුරු කතා කිහිපයක් එකතු වීමයි. එමෙන්ම මෙම චරිත ඉතාමත් ආකර්ශනීය වේ. සමාජය තුළ පවතින ආකල්ප, සංස්කෘතිය, ප්‍රේමය, විනෝදය, කතා අන්තර්ගතය තුළ බොහෝවිට දකින්නට ලැබේ. මෙම කතා තුළ ස්ත්‍රී හා පුරුෂ යන දෙපක්ෂය ඉතා සියුම් මානුෂීය ප්‍රශ්න ස්පර්ශ කරමින් ඒ හමුවේ හැසිරේ. බොහෝ චරිත කිසියම් ගැටළුවක් නිසා කම්පනය වී ඇත.


මෙම සෝප් ඔපෙරා වල එන චරිත වලින් ස්ත්‍රිය කෙරෙහි වැඩි අවධානය යොමුව තිබේ. ගැහැනිය සියලු දුක උසුලයි. දුක වාවා ගනිමින් දිරියට යාමට වෙර දරයි. මීට අමතරව ප්‍රේමවන්ත වීරයන්, සමාජයීය වීරයන්, දුෂ්ටයන් බොහෝ විට දක්නට ලැබේ. මේ අතර සමාජයීය වශයෙන් පිළිකුල උපදවන මැරවරයන් ද සිටියි. ප්‍රේමය, විවාහය, දික්කසාදය, මරණය, අතුරුදන්වීම්, කුතුහලය, උපහාසය, අපහාසය, සෝප් ඔපෙරාවල පොදු ලකුණකි. කෙටියෙන් කියතොත් ලිඳ ළඟ සංගමයකි.


සෝප් ඔපෙරාවල විදහාපාන්නේ සමාජ යථාර්ථය වුවත් ඒ සඳහා යොදාගනු ලබන චරිත මගින්, කතාකරු කතාවේ ගලා යාමට අතිශයෝක්තිය එක කිරීම දක්නට ලැබෙන්නකි. මේ නිසා නරඹන්නන් තවත් ඇලී ගැලී සිටීම පුදුමයක් නොවේ. මේ සඳහා කාන්තාවන්ගේ (ගෘහණියන්ගේ) නැඹුරුව වැඩි බව ඉහතදී සඳහන් කළෙමි. තමන් නිවසේ සිට කරන රාජකාරී කොටස, කතාවේ එන නිලියද එලෙසින්ම නිරූපණය කරයි. ඇතැම් විට නරඹන්නන්ට නැති ප්‍රශ්න මේ චරිත තුළ ඇත. නමුත් රඟපෑමේ විශිෂ්ටකම හා ගෘහනියන්ගේ ඇබ්බැහිවීම කෙතරම්ද කියතොත්, කලක් යන්නට මත්තෙන් කතාව තුළ චරිතයට ඇති මවාගත් ගැටලු කන්ද එලෙසින්ම නරඹන ගෘහනියද දරා සිටින්නීය.


සෝප් ඔපෙරවලට ඇබ්බැහි වූවන්ගෙන් 80%ක්ම කාන්තාවන්ය. අවශේෂ 20% ළමයින්, පිරිමින්, වයෝවෘද පුද්ගලයන් අතර බෙදී යයි. නමුත් මෙම නාට්‍ය මාලාවල කොටසක් දෙකක් අත්හැරුණද කතාවේ ගමන් මග අවබෝධ කරගැනීමට හැකි වීම විශේෂ කරුණකි. මෙයට ප්‍රධාන හේතුව ලෙස දැකිය හැකි වන්නේ, උක්තව සඳහන් කළ පරිදී අනුකතාංක කිහිපයක් ගැබ්ව තිබීමයි. එමෙන්ම මෙහි එන සිදුවීම් අවසානයේදී පැහැදිලි අදහසක් නොදීම ද තවත් කරුණකි. එය ප්‍රේක්ෂකයාට භාර කොට ඇත. මෙම කරුණේ දී සෝප් ඔපෙරාව කෙටිකතා කිහිපයක එකතුවකට සමාන වේ. මන් ද කෙටි කතාවක දකින්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ කතාව අවසානයේදී සහෘදයා අබිමුව ප්‍රශ්නාර්ථයක් ගොනු කිරීමයි.


අන්තර් පුද්ගල සම්බන්ධතා බිදී යාම, අවිශ්වාසය සෝප් ඔපෙරාවල නිතරම දක්නට ලැබේ. මෙමගින් සමාජයට ඇතිකරන්නේ සමාජයට හිතකර බලපෑමක් නම් නොවේ. මෙනිසා සෝප් ඔපෙරා සමාජය සසල කරවන කලා මාධ්‍යයක් ලෙස ද හඳුන්වයි. නරඹන්නන් කතාවේ එන චරිතයන් තමන්ට ආරුඪ කරගැනීම මෙයට එක හේතුවකි. සත්‍ය දිවියෙන් පලා යාමට සෝප් ඔපෙරාව හොඳ මගකි. මේ නිසා මෙය නිසි ලෙස අධ්‍යයනය කළහොත් දේශීය නාට්‍ය මාලාවන් පිළිබඳවද අවධානය යොමු කළ හැක. කෙසේ වුවද මේවායේ ගුණ නුගුණ සියල්ල මනාව අවබෝධ කරගෙන නිර්මාණකරුවා නිර්මාණකරණයේ යෙදීමද, ප්‍රේක්ෂකයා නැරඹීමද සිදු කළ යුතුය.


චින්තනී නවෝද්‍යා ගමගේ




Commentaires


© 2023 by Design for Life.

Proudly created with Wix.com

  • Facebook Social Icon
  • Google+ Social Icon
bottom of page