top of page

උඩවලව ඇත් අතුරු සෙවණ

  • Writer: Boomerang
    Boomerang
  • Jul 18, 2018
  • 2 min read

Updated: Jul 18, 2018


ree

මවුපියන් නැති ළමුන් ළමා නිවාසවලට යොමු කළාම ඒ දරුවන්ව බලා කියාගන්න වැඩිහිටියන් ඉන්නවා. අලි පැටවුන්ටත් තියනවා එහෙම තැනක්. ඒකට තමයි උඩවලව ඇත් අතුරු සෙවණ කියලා කියන්නේ. මේ ඇත් අතුරු සෙවණට මේ අවුරුද්දේ සැප්තැම්බර් 15 වෙනිදාට අවුරුදු 23ක්. ඒ කියන්නේ මෙහි ආරම්භය සිදුවෙලා තියෙන්නේ 1995 අවුරුද්දේ. එත් මෙය ආරම්භ කරන්න මුල්වුණ කතාව 1972 වර්ෂය දක්වා ඈතට දිව යනවා. ඒ කාල සීමාවේදී වනජීවි දෙපාර්තමේන්තුව තීරණයක් ගන්නවා අලි ඇතුන් ආරක්ෂා කිරීමට අලි අනාථාගාරයක් පිහිටුවන්න. ඒ අලි අනාථාගාරය තමා අද වෙනකොට පින්නවල තියන අලි අනාථාගාරය. පසුකාලීනව වනජීවි දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට තේරුම් යනවා අලි අතුන්ට වඩාත්ම සුදුසු වාසස්ථානය වන්නේ කැලය බව. ඒ අනුව යමින් තමයි 1995 වසරේදී උඩවලව ඇත් අතුරු සෙවණ ආරම්භ වෙන්න්. මේ අලි පැටවුන්ගේ නිවස පටන් ගත්තේ කෝමළි කියන අලි පැටියගෙන්.


ree

හදිසි ආපදාවලින් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියයන අලින‍්ගේ අසරණවන පැටවුන් භාරගෙන ඔවුන්ව රැකබලා ගැනීම තමා උඩවලව ඇත් අතුරු සෙවණේ මූලිකට කාර්යභාරය. ඇත් අතුරු සෙවණ මගින් මේ වසර 23 පුරා වනයට මුදා හරින ලද අලින් සංඛ්‍යාව 100කට අධිකයි. 1998 වසරේදී අලි පැටවුන් 4ක් එකවර නිදහස් කර තිබෙනවා. ඔවුන්ව නම් කරලා තිබුණේ අනුරාධ, අනූෂා, කණ්ඩුල සහ ගාමිණි යන නම්වලින්. මෙම පැටවුන් නේවාසිකව රඳවාගෙන තුන් වේලටම කිරි දියර ලබා දෙමින් ඔවුන්ව පෝෂණය කිරීමට එහි සේවකයන් කටයුතු කරනවා. කුඩා කාලයේදි අලි පැටවුන්ට ලබා දෙන්නේ කිරි පමණක් වීම මෙයට හේතුවයි. නිසි වයස එළඹීමත් සමඟ පැටවුන් කිරි වරණ අතර වනාන්තරයට මුදාහැරීමට පෙර වනාන්තර දිවියට හුරු කිරීමත් සිදු වෙයි. මෙසේ ස්වභාවික පරිසරයට අනුගත කිරීම අනිවාර්ය සාධකයක් වෙයි. මෙසේ ස්වභාවික පරිසරයට අනුගත කිරීම අපහසු සහ කළ නොහැක්කක් බව එකළ පිරිසවේදීන් හඬ නැගුව ද එය කළ හැකි බවට ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට ඇත් අතුරු සෙවණට හැකියාව ලැබුණි. මෙලෙස වනාන්තරවලට මුදාහරින අලින්ගේ ආරක්ෂාව පිළිබඳ දැනගැනීමට ඔවුන්ගේ ගෙල වටා කොලරයක් සවි කිරීමට ද පියවර ගෙන ඇත. එමෙන්ම මේ මාසය මුලදී ද උඩවලව ඇත් අතුරු සෙවණේ හැදී වැඩුණු අලින් 09 දෙනෙකු වනයට මුදාහැර තිබේ.

මේ අලි ඇතුන්ගේ කිරි පිටි සඳහා වැය වන මුදල සුළු පටු නැත. එබැවින් ඇත් අතුරු සෙවණට ගොස් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නරඹන ඔබට ඔවුන්ගේ ආහාර සඳහා සුළු හෝ දායකත්වයක් ලබාදීමට හැකිනම් එය වටනේය.


ree

ඉකුත් වසරේ දී උඩවලව ඇත් අතුරු සෙවණට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 172,874ක් පමණ වනවා. ඒ අතරින් 122,755ක් දේශීය සංචාරකයන් වන අතර 50,092ක් විදේශීය සංචාරකයන් බවයි පැවසෙන්නේ. ඒ අනුව, ලැබී ඇති මුළු ආදායම රුපියල් මිලියන 32.42ක් පමණ වනවා.

වර්තමානය වනවිටනම් අලි ඇතුන් සම්බන්ධව අසන්නට ලැබෙන තොරතුරු සුබදායක නොවන තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. ඇත් අතුරු සෙවණේ මිනිසුන් ඇසුරේ හැදී වැඩෙන මේ අසරණ සත්ත්වයන් මෙන්ම වනාන්තරයේ වෙසෙන ඇතැම් අලි ඇතුන්ටද අත්වන ඛේදනීය ඉරණම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ දෑස් නිසි ලෙස විවර වන්නේ නම් මැනවි.


මූලාශ්‍රය - https://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150921_tr_elephant_pinnawala_udawalawa

ඡායාරූප - අන්තර්ජාලය ඇසුරෙන්.



චින්තනි නවෝද්‍යා ගමගේ.

Comments


© 2023 by Design for Life.

Proudly created with Wix.com

  • Facebook Social Icon
  • Google+ Social Icon
bottom of page