සන්නිවේදනය - ඔබ මට - මම ඔබට
- Boomerang
- Jul 15, 2018
- 2 min read
Updated: Jul 17, 2018
මේ මම ඔබත් සමග කරන්නේ සන්නිවේදනයකි. ඔබේ අරමුණ සන්නිවේදනය යන්න කුමක්ද යන්න දැන ගැනීමයි. මගේ අරමුණ වන්නේ සන්නිවේදනය යනු කුමක්දැයි ඔබට විස්තර කිරීමයි, ඒ සම්බන්ධව තොරතුරු සැපයීමයි. එසේනම් මෙතැන් පටන් අප දෙදෙනා අතර සිදුවන අදහස් බෙදීම සාර්ථක වනු ඇත. එසේ වන්නේ සන්නිවේදනයේදී අප දෙදෙනාගේ ජීවන අත්දැකීම්, අදහස්, ආකල්ප ආදිය සම වන නිසාය. අදින් පටන් ගන්නා මේ විස්තර කිරීම් උසස් අධ්‍යාපනයේ නියුතු ශිෂ්‍යන්ට, විද්‍යාර්ථින්ට මෙන්ම ජන සන්නිවේදනය සම්බන්ධයෙන් අධ්‍යනයට මෙන්ම සාමාන්‍ය දැනීම වැඩි දියුණු කරන්නට රුචි අය වෙනුවෙන් වෙන්වනු ඇති.

සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවකි. එම මූලික අවශ්‍යතාව වේගයෙන් ඉටු කරගනු වස් තාක්ෂණික මාධ්‍යයන් ද උපකාරී වී ඇත. සන්නිවේදනය යනු මිනිසා අතර පමණක් සිදු වන්නක් නොවේ. ඇතැම්විට මිනිසාට හා සත්ත්වයන්ට සන්නිවේදනය සිදු කරගැනීමට සිදුවන අවස්ථා ද පවති. සංහතික මාධ්‍ය (Mass Media) බිහි වීමට පෙර මානවයා සිය සන්නිවේදන කටයුතු සිදු කළ විධි දෙකකි. චවනවලින් සන්නිවේදනයේ යෙදීමට පෙර සංකේත, සංඥා ආදිය අදහස් ප්‍රකාශනය සඳහා මානවයා විසින් යොදා ගන්නා ලදී. එනම් පූර්ව යුගයේදී මානවයා අවාචික ලෙස ද තම සන්නිවේදන කාර්යය ඉටු කරන්නට විය. ඒ අනුව වර්ගීකරණයේ සහ විග්‍රහ කිරීමේ පහසුව අනුව මෙම සන්නිවේදන විධි කොටස් දෙකකට වර්ගීකරණය කර ඇත.
01. වාචික සන්නිවේදනය (Verbal Communication)
02. අවාචික සන්නිවේදනය (Nonverbal Communication)
මෙම සංකල්ප දෙක අතිශය සරළ සංකල්ප දෙකකි. වාචික සන්නිවේදනය යනු, භාෂාව මූලික කරගත් සන්නිවේදනයයි. අවාචික සන්නිවේදනය යන්නෙන් අදහස් වන්නේ අභිනය, සංඥා, සංකේත ආදිය මුල් කරගනිමින් සිදුවන සන්නිවේදනයයි. මෙම සන්නිවේදන විධි දෙකම අවස්ථානුකූලව ප්‍රබල විය හැකිය. එනම් ඇතැම්විට වාචික සන්නිවේදනයට වඩා අවාචික සන්නිවේදනය ද අවාචික සන්නිවේදනයට වඩා වාචික සන්නිවේදනයද ප්‍රබල වීමේ ඉඩකඩ පවති.
මිනිසා අන්‍යෝන්‍ය වශයෙන් සිය සම්බන්ධතා වැඩිදියුණු කරගන්නේ සන්නිවේදනය මගිනි. උක්තව සඳහන් කළ ආකාරයට සාර්ථක සන්නිවේදනයක් සිදු වීමට නම් දෙපිරිස අතර ඇති අවබෝධය සම විය යුතුය. නමුත් එම අවබෝධය විෂම වන අවස්ථාවලදී නව තර්ක ගොඩනැගීමේ අවස්ථා ද නැත්තේ නොවේ.
ඔබ පාසල් අධ්‍යාපනය හෝ උසස් අධ්‍යාපනය හදාරන්නේ නම් සන්නිවේදනය සම්බන්ධයෙන් වන නිර්වචන බොහෝ වැදගත් වනු ඇති. ඒ නිසා සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද සන්නිවේදනය සම්බන්ධයෙන් වන නිර්වචන මෙලෙස ඉදිරිපත් කරමි.
සන්නිවේදනය සම්බන්ධයෙන් වන නිර්වචන
01. Communication is simply the act of transferring information from one place to another.
( https://www.skillsyouneed.com/ips/what-is-communication.html )
02. Communication is the act of conveying meanings from one entity or group to another through the use of mutually understood signs and semiotic rules
( https://en.wikipedia.org/wiki/Communication )
03. පුද්ගලයින් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කරලීම සන්නිවේදනයයි. (මහාචාර්ය විල්බර් ශ්‍රාම් - Wilbur Schramm)
04. කිසියම් පුද්ගලයෙක්, යම් කිසිවක්, කිසියම් මාධ්‍යයකින් යමෙකුට කිසියම් අර්ථයක් සඳහා කියනු ලබන දෙය සන්නිවේදනයයි. ( හැරල්ඩ් ඩී ලැස්වෙල් - Harold D. Lasswell)
05. අදහස් ගෙන යන කලාව සන්නිවේදනයයි. (එඩ්වින් එමරි - Edwin Emery)
06. මානව සබඳතා රඳවා සිටින්නාවූත්, සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහන කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගෙනගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රමය සන්නිවේදනයයි. – (චාල්ස් කුලී - Charles Cooley)
කෙසේ හෝ වර්තමානය වනවිට කාලය සහ අවකාශය අතර ඇති පරතරය අතිශය පටු වී සන්නිවේදනය දියුණු වී ඇත. එයට හේතුව වන්නේ තාක්ෂණික මාධ්‍යයන්ගේ සිදුවූ ශීඝ්‍ර දියුණුවයි. එය දෙවන ලෝක යුද සමය හා බැඳුනකි. තාක්ෂිණික මාධ්‍යන්ගේ ක්‍රමික විකාශනය සහ ඒ හරහා බිහිවූ නව සංකල්ප සම්බන්ධයෙන් වෙනම ලිපි පෙළකින් ඉදිරිපත් කරමි.
චින්තනී නවෝද්‍යා ගමගේ
Comments